අපි රෝද පාර දිගේ වනය තුළට රිංගුවෙමු. තොරතෝංචියක් නැති ව නැගෙන කුරුලු ගීතයෙන් නිහැඬියාව මැකී යයි. මිනිස් කටහඬක් අසන්නට නැති බැවින් කුරුලු ගීතය වුව ද සිත සලිත කරවීමේ බලයක් ලබා ඇත. ගස් දෙකක් එකට ඇතිල්ලී නැගෙන ක්රීං ... ක්රී .... නාදය ගස් අතරින් රිංගා ඈතට ම දිව යයි. අත්තෙන් අත්තට පනින රිළා, වඳුරු සේනාව අප දෙස බලා සිටින්නේ අප බිය ගන්වන විලාසයකිනි. කන් බිහිරි කරවන රැහැයි නාදය වන ගැබේ පාළුවට තර්ජනයක් වුවද සිත තුළ රජයන පාළුව බිය මුසු හැඟීම් ජනනය කරවයි.